Showing posts with label ලෙඩ දුක්. Show all posts
Showing posts with label ලෙඩ දුක්. Show all posts

15 March 2009

ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ




ඇත්තට ම, අපි කාටවත් ගැලවෙන්න බැරිවුන දෙයක් ගැන තමයි මම දැන් කියන්න හදන්නේ. ඒ තමයි ලෙඩ රෝග. ලෙඩක් දුකක් හැදුනෙ නැති කෙනෙක් මේ සටහන කියවයි කියල මම නම් හිතන්නේ නෑ. අඩු තරමින් අපි හැමෝට ම මොකක් හරි ලෙඩක් හැදිල තියෙනවා. ඒක ඇත්තක්. ලෙඩක් හැදුන ම තමයි ඒකෙ රගේ තේරෙන්නේ. එතකන් හිතෙන්නේ අපි නීරෝගී අය කියලයි. ඇත්තට ම මේ නීරෝගී කම කොතරම් නම් තාවකාලික ද?

සාමාන්‍යයෙන් විදුලි උපකරණයක් වගෙ මිල දී ගනිද්දී ඒකට වගකීම් සහතිකයක් ලැබෙනවා. වර්ෂ දෙකක් නැත්තන් තුනක් දෝෂ ඇති නොවන බවට වග කියනවා කියල. ඒත් ඇත්තට ම සමහර විට ඒවට ඒ කාලය තුළ ම දෝෂ ඇතිවෙනවා. ඒත්...කවදාවත් අපි උපදිද්දී අපේ ජිවිතයට ගැරන්ටි කාඩ් එකක් ලැබිල නෑ. කවුරුත් අපේ ජීවිත වලට ලෙඩ හැදෙන්නෙ නෑ කියල ඇප වෙලත් නෑ. එහෙව් එකේ...කවර නම් දෙයක් නිසා මේ පුංචි නීරෝගීකමක් හමුවේ උදම් අනන්නද? මේක නම් මුලාවක් ම යි.

වෛද්‍ය විද්‍යාව දියුණුයි ලු. එදාට වඩා ඉදිරියෙන් ලු. ඔව්...ඇත්තට ම දියුණුයි තමයි. ඒත් අපිට පේන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ මොකද්ද කියලත් ඔබට හිතෙයි..

හිතන්න බලන්න ටිකක්.. අපිට වැළදෙන රෝග පරිමාණය අනුව තමයි ඊට සාපේක්ෂව ප්රතිකාර වැඩි වන්නේ..අපිට ලෙඩ සීයක් තියෙනව නම් අපි හිතමු ප්රතිකාර විධි සීයක් තියෙනව කියල (ඇත්තට ම ඊට වැඩියි). එහෙනම් ලෙඩ පනහක් තියෙනව නම් ප්රතිකාර විධි පනහක් තියෙනවා. මේ විධියට බැලුවොත් ලෙඩ නැත්නම් ප්රතිකාර විධි කියා ජාතියක් මේ ලෝකේ නෑ.

අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්නේ මේ විදියට ප්රතිකාර ක්‍රම වැඩිවීමත් එක්කයි. මේ එක්ක ම අපිට තෙ‍්රෙනවා අලුත් අලුත් ලෙඩ ජාතිත් බිහි වෙනවා. ඇත්තට ම මුලින් ම බිහිවුනෙ රෝගය මිස ප්‍රතිකාරය නොවෙයි. ඒ නිසා අපි වෛද්‍ය විද්‍යාව දියුණු වෙනව කියල හරියට දුක් විදල විදල ගිනි කූරක් පත්තු කරගත්ත කෙනෙක් වගේ අපි සතුටු වේවි..ඒත් අපි අමතක කරනවා ගිනිකූර පත්තු වීමත් එක්ක ම ඒ ගිනි කූරේ ආයුෂ ගෙවී යාමත් ඉක්මන් වුනා කියලා.

ඒ නිසා එන්න එන්න ම වසංගත රෝග මතුවෙනවා. සමහර රොග වලට පිළියම් තාම හොයාගෙන නෑ. මේ රෝග අපි ඕන ම කෙනෙකුට වැළදෙන්න පුළුවන්. මිනිසුන්ට විතරක් නොවෙයි සතුනටත් ලෙඩරෝග හැදෙනවා. ඒ නිසා මේ තාවකාලික නීරෝගී භාවයෙන් උදම් අනන්නෙ නැතුව ඉපදීමත් එක්ක අපිට උරුම වුන ලෙඩ හැදෙන ස්වභාවය ඉක්මවා ගිහින් නෑ කියන දේ නිතර නිතර සිහි කිරීමට අපිට ලැබෙනව නම් ඇත්ත ස්වභාවය කල්පනා කරන නිසා එය ජීවිතාවබෝධය පිණිස ම යි හේතු වන්නේ...

තෙරුවන් සරණයි
 
සදහම් දිනපොතේ නිර්මාණ දායකත්වය ලබාදුන්නේ productive dreams ආයතනය යි © 2009