17 March 2009

කාට ද මේක තේරෙන්නේ...?


රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්...

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,

ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.

හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.

පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,

අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.

මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.

අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං,

අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා,

අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ

අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.


ඕදහි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ,

භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ’ති

මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.

(රට්ඨපාල තෙරුන්ගේ ගාථා - මජ්ඣිම නිකාය 2 - රට්ඨපාල සූත්‍රය)

තෙරුවන් සරණයි

16 March 2009

සිගිති කුසුමක් පොඩි කළ මිනීමරුවා ගැන


මේ දවස් ටිකේ ලංකාදීප එසැන පුවත් කියවද්දී හිතට වැදුන සිද්ධියක වත්මන් තත්වය පිළිබද 'සාවකෝ' ට හිතුන දෙයක් ලියන්නයි මේ හදන්නේ. ඉස්සෙල්ල ම මේ පුවත් තුන කියවමු...

ප්‍රවෘත්ති මූලාශ්‍ර උපුටා ගත්තේ - ලංකාදීප අන්තර්ජාල කලාපයෙන්
...
මුල් ම පුවත
ත්‍රි මලේ දැරිය මැරීම
කප්පම ඉල්ලුවේ
ගුවන් විදුලි නාලිකාවක් අරින්නලු
රුපියල් තුන්කෝටියක කප්පමක් ඉල්ලා ත්‍රිකුණාමලේ දැරියක් පැහැරගෙන මරා දැමීයයි කියන ප්‍රධාන සැකකරු සමග තවත් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල පොලීසිය පවසයි. ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීම සදහා මේ කප්පම් ඉල්ලා ඇතැයි ද ජන සන්නිවේදන උපාධිධරයෙකු ද කප්පම් කරුවන් අතර සිටිතියි ද පොලිසිය කියයි. ත්‍රිකුණාමල පාලඋත්තුවේ ජූඩ් මේරි වරුෂා ^6& මෙසේ මරා දමා ඇත.

දෙවැනි පුවත
දැරිය මැරූ ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට
රුපියල් තුන් කෝටියක කප්පමක් ඉල්ලා ත්‍රිකුණාමල පාලඋත්තුවේ හය හැවිරිදි දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පරිගණක ගුරුවරයා මීට මොහොතකට පෙර පොලිස් ජීප්රියක දී වෙඩි වැදී මරණයට පත් විය. මාටඩුපිටිය ඔහුපරාධය වූ ස්ථානයට රැගෙන යද්දී පොලිස් සැරයන්වරයෙකුගේ බෙල්ල මිරිකීමට ගත් උත්සාහයේ දී ඔහු පොලිස් වෙඩිපහරට ලක්වී ඇතැයි කියති.



තුන්වැනි පුවත
ත්‍රි මල මිනීමරුවාගේ සිරු ර රජයේ වියදමින් වළ දැමෙයි
මව්පියෝ සිරුර එපා කියති
රුපියල් තුන් කෝටිය කප්පම් ගැනීම සදහා දැරියක පැහැරගෙන ගොස් මරා දැමී යැයි අත්අඩංගුවට ගෙන සිටිය දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ඔබ්රින් මර්වින් රිනවුසන් නොහොත් සහාන්ගේ ^25& සිරුර භාරගැනීම ඔහුගේ මව්පියන් ප්‍රතික්ෂේප කළ බවත් උසාවි අවසරයකින් රජයේ වියදමින් සිරුර මිහිදන් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා කියයි.
...
මුල ඉදන් අගට ම කියෙව්වනම් තමයි මේක තේරෙන්නේ.. දැන් මෙන්න මේ ගාථාව කියවන්න. මේක ධම්මපදයේ ගාථාවක්...


පාපෝ'පි පස්සති භද්‍රං - යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං - අථ පාපෝ පාපානි පස්සති

කරගත්තු පව් විපාක නොදී තියෙනකල් විතරයි ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නේ. නමුත් විපාක දෙන්න පටන් ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.

(ධම්ම පදය - 119 ගාථාව - පාප වග්ගය)


න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්ච්‍යෙය පාපකම්මා

යම් තැනක සැගවිලා, පව් වල විපාකයෙන් ගැලවෙන්ට පුලුවන් නම්, එබදු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සේ ගුහාවක හැංගුනත් නෑ. එබදු තැනක් ලෝකෙ කොහෙවත් නෑ.

(ධම්ම පදය - 127 ගාථාව - පාප වග්ගය)

බුදු රජාණන් වහන්සේ තමයි මේ ගාථා වදාළේ. ඇත්තට ම ඒ කළ පහත් පාපතර ක්‍රියාවට ඔහුට ජීවිතයෙන් ම වන්දිගෙවන්නට සිදු වූ අතර ඔහුගේ දෙමාපියන් ට ඒ මිණිය ද එපා විය. එක් තැනක තමන්ගේ දයාබර දියණිය අහිමි වීම නිසා දෙමාපියන් අඩා වැළපෙද්දී ඇගේ මළ සිරුර පවා නිවසෙන් පිටමන් කිරීමට හිත හදාගත නොහැකි ව සිටිද්දී..රටක් කම්පා කළ පාපතරයෙකු වැදීමේ අවමානයෙන් පීඩා විදින ‍අපරාධකරුවාගේ දෙමාපියෝ තම පුත්‍රයාගේ මළ සිරුර පවා භාර නොගත්තෝ ය. සැබවින් ම තවමත් මෙරට ආගම් භේද නොසළකා, මිනිසුන් පව පිළිකුල් කරති. පව්කාරයෝ ද පිළිකුල් කරති. ඒත් ඒ කවදා වන තුරු ද? එය ද ඉක්මණින් ම අභාවයට යනු ඇත. මෙවන් කිරිසප්පයින්ගේ අහිංසක මුහුණු දෙස බලමින් ම ඔවුන් මරා දැමීමට තරම් මානසික උමතුවක්, මානසික පරිහානියක්, ධාර්මික මත යහපත් යැයි තවමත් පිළිගන්න මෙවන් සමාජයක් තුළ දැන් දැන් ම දකින්නට සිදු වීම මහා ඛේදයක් ම නොවේ ද?

වයස 25ක තරුණයෙකුගේ මේ ක්‍රියාව එක්ක බලද්දී අපේ තරුණ පරපුර මීට වඩා තව තවත් ධාර්මික පසුබිමක් ඇතිකර ගැනීමට කැමැත්ත උපදවා ගතයුතු නොවේද? අද තරුණ පරපුර නිසා බිහිවන ඉදිරි දරු පරපුරට තව තවත් යහපත අයහපත කියා දිය යුතු නොවේද? එසේ කිරීමට නම්, අද අප ධර්මය, යහපතේ හැසිරෙන ආකා
රය, සීලය, බුද්ධ දේශනා ආදිය පිළිබද යම්තම් දැනීමක් වත් ඇතිකර ගත යුතු ය.


ජීවිතාවබෝධය පිණිස පවතින ර්මයක් බැහැර කොට, හින්දුස්ථානයේ 'ප්‍රවීනා', 'මහගෙදර', වැනි දෙමාපියන් හා වාද කරන..වැදූ මවට අත උස්සන..කිඩ්නැපින් සහ බ්ලැක්මේලින් විධි ආදී ගද ගහන දුෂ්චරිතයන් පිරී ඉතිරී ඇති වැල් පොලී එපිසොඩ් ඩබින් නාට්‍යයන් වමාරන සංස්කෘතියක් යහපත් සමාජයක් ගොඩනගන්නේ නැත. එසේ ම ටීනේජර් විලේජර්ස්, ගැන්ග්ස්ටර් සම්ප්‍රදායන්, වසරේ දෙකේ විවාහ ජීවිත සහිත ඩිවෝස් සම්ප්‍රදායන් ආදී තවත් මෙකී නොකී දුෂ්චරිත පිරි බටහිර සංස්කෘතිය ද, යහපත් සමාජයක් ගොඩ නගන්නේ නැත.

ඉන්දියාවේ එදා තිබුණ යහපත් ධාර්මික පසුබිම බුදු දහම වියැකී යාමත් සමග ම යටපත් වී ගොසිනි. එදා මිහිදු මහ රහතුන් ලක්දිවට ගෙන ආ උතුම් දහමත්, ධාර්මික දිවි පැවැත්මත් නිසා අප ලද ඒ භාග්‍යය වත්මන් හෙළයින්ගේ ම නොසැළකිලිමත්කම නිසා, ඔවුන්ගේ ම මත ස්ථාපිත කොට බුදු දහම ඊට අනුව වෙනස් කිරීමට යාම නිසා වද වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

ඒ නිසා මේ වෙනුවෙන් වත්මන් හෙළ බොදු පරපුර වහා අවධානය යොමු කළ යුතු ව ඇත. නැතිනම් කර්ම විපාක සත්‍ය කරමින් මෙවන් අසික්කිත සිදු වීම් සිදු වෙද්දී, කිසිවකට සම කළ නොහැකි බුදු දහම පෘථග්ජන විද්‍යාඥයින්ගේ වෙනස්වන විද්‍යාව හා සසදමින්, එය ම සරණ යමින් සිට ඒ සියළු දැනුම සහ උපාධී පට්ටම් මොලොව අතහැර මරණයට පත් වී පරලොව දුක ම උරුම කරගැනීමට සිදුවනු නො අනුමානයි....!

තෙරුවන් සරණයි..!

15 March 2009

තිරිසන්නු තිරිසන්නු මිනිස්සු..මිනිස්සු..!


පුංචි කුකුල් පැටියට මොනව හිතෙනව ඇද්ද? ඒක නම් කවුරුත් ම දන්නෙ නෑ. සුව යහන් සුව පළස් අරගෙන නෙවෙයි නෙ අපි ඉපදුනේ. සතුනුත් එසේ ම යි. සමහර මිනිසුන් ට ඉපදුනාට පස්සෙ නිදියන ටිකට සැප සේ නිදියන්න, සිංගල් ලේයර් ඩබල් ලේයර් ලැබෙනවා. ඒත් සමහරෙක් ට පැදුරක් වත් නෑ. සතුන්ටත් ඔය ටික ම යි. කුරුදුවත්තෙ නෝනල ජර්මන් ෂෙපර්ඩ්ල, පොමනේරියන්ල, ඇස්සේසන්ල තියාගෙන දතුත් මැදගෙන, ‍‍පේෂලුත් කරගෙන, විටමිනුත් ගිල්ලවගෙන, හුරතල් කරද්දී බොහෝ සුනඛයෝ තවමත් මහ මග. මේ වෙනස ඇති වුනේ කොහොමද? පෙර කරපු දෙයක් නිසාද? වත්මන් සමාජයේ වරදක් ද? ඉබේ වුන දෙයක් ද? නැත්නම් කවුරුහරි ලොකු දෙවිකෙනෙක් ගෙ කැමැතතක් නිසාද? ඔන්න ඔය ප්‍රස්නෙ විසදගන්න තමයි ගොඩක් අය අද ගහ මරා ගන්නෙ. පෝස්ටර් ගහන්නෙ. ඡන්දෙ ඉල්ලන්නෙ.

ඉතින් කොහොම කොහොම හරි එක දෙයක් තියෙනව කියන්න. ඒ තමයි, මේ කිසි දෙයක් ඉබේ නම් වෙන්නෙ ම නෑ ම යි. පහනක් පත්තු වෙන්නෙත් හේතුවක් නිසා නම්, ගහක හෙවනැල්ල තියෙන්නෙත් හේතුවක් නිසා නම්, අපේ ජීවිත විතරක් ඉබේ තීරණය වෙයි ද? ඒ නිසා මේ හැම දෙයක් ම හට ගන්නෙ හේතුවක් නිස යි. හැමදෙයක් ම පවතින්නේ හේතුවක් නිස යි. ඒක සනාතනික සත්‍යයක්.

තිත්ත කොහොඹ ඇටයක් හිටෙව්වොත් හැදෙන්නෙත් තිත්ත ඵල සහිත තිත්ත කොහොඹ ගහක් ම යි. රසවත් අඹ ඇටයක් හිටෙව්වොත් හට ගන්නේ රස ඵල දරන අඹ ගහක් ම යි. ඒ වගේ ම...අපි හොදක් කළොත් ඒකෙ ඵලය හොද එකක්. නරකක් කළොත් ඒකෙ ඵලය නරක එකක්. ඒ නිසා මේ හේතු ඵල ධර්මතාවය තමයි මේ හැම දෙයක ම පවතින්නේ. හේතුව හැදුව පමාවට ඵලය හැදෙන්නෙ නෑ. අපි එහෙම හිතනව නම්, හරියට අපිට කැමති තැනකින් ළිදක් කපන්න පටන් අරන් කැමති ගැඹුරෙන් වතුර අපේක්ෂා කරනව වගේ වැඩක්. අපිට තියෙන්නේ ළිද කපන්න යි..වතුර ලැබෙන ගැඹුර සහ ඉක්මන තීරණය වෙන්නේ අපි ඉන්න තැන යි අපේ උනන්දුව යි මත ම යි.

ඒ නිසා දුක්, දොම්නස්, හැඩීම් වැළපීම් වලින් නිදහස් වෙන්නට අද අද ම වීර්ය කරන්න පටන් ගන්න. ඔබ මේ සසරේ ඉන්නේ යම් තැනක ද, යම් මානසික මට්ටමකින් ද, ඒ අනුව ඔබේ විමුක්තිය ලැබෙන දිනය තීරණය වේවි.

තෙරුවන් සරණයි..!

ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ




ඇත්තට ම, අපි කාටවත් ගැලවෙන්න බැරිවුන දෙයක් ගැන තමයි මම දැන් කියන්න හදන්නේ. ඒ තමයි ලෙඩ රෝග. ලෙඩක් දුකක් හැදුනෙ නැති කෙනෙක් මේ සටහන කියවයි කියල මම නම් හිතන්නේ නෑ. අඩු තරමින් අපි හැමෝට ම මොකක් හරි ලෙඩක් හැදිල තියෙනවා. ඒක ඇත්තක්. ලෙඩක් හැදුන ම තමයි ඒකෙ රගේ තේරෙන්නේ. එතකන් හිතෙන්නේ අපි නීරෝගී අය කියලයි. ඇත්තට ම මේ නීරෝගී කම කොතරම් නම් තාවකාලික ද?

සාමාන්‍යයෙන් විදුලි උපකරණයක් වගෙ මිල දී ගනිද්දී ඒකට වගකීම් සහතිකයක් ලැබෙනවා. වර්ෂ දෙකක් නැත්තන් තුනක් දෝෂ ඇති නොවන බවට වග කියනවා කියල. ඒත් ඇත්තට ම සමහර විට ඒවට ඒ කාලය තුළ ම දෝෂ ඇතිවෙනවා. ඒත්...කවදාවත් අපි උපදිද්දී අපේ ජිවිතයට ගැරන්ටි කාඩ් එකක් ලැබිල නෑ. කවුරුත් අපේ ජීවිත වලට ලෙඩ හැදෙන්නෙ නෑ කියල ඇප වෙලත් නෑ. එහෙව් එකේ...කවර නම් දෙයක් නිසා මේ පුංචි නීරෝගීකමක් හමුවේ උදම් අනන්නද? මේක නම් මුලාවක් ම යි.

වෛද්‍ය විද්‍යාව දියුණුයි ලු. එදාට වඩා ඉදිරියෙන් ලු. ඔව්...ඇත්තට ම දියුණුයි තමයි. ඒත් අපිට පේන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ මොකද්ද කියලත් ඔබට හිතෙයි..

හිතන්න බලන්න ටිකක්.. අපිට වැළදෙන රෝග පරිමාණය අනුව තමයි ඊට සාපේක්ෂව ප්රතිකාර වැඩි වන්නේ..අපිට ලෙඩ සීයක් තියෙනව නම් අපි හිතමු ප්රතිකාර විධි සීයක් තියෙනව කියල (ඇත්තට ම ඊට වැඩියි). එහෙනම් ලෙඩ පනහක් තියෙනව නම් ප්රතිකාර විධි පනහක් තියෙනවා. මේ විධියට බැලුවොත් ලෙඩ නැත්නම් ප්රතිකාර විධි කියා ජාතියක් මේ ලෝකේ නෑ.

අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්නේ මේ විදියට ප්රතිකාර ක්‍රම වැඩිවීමත් එක්කයි. මේ එක්ක ම අපිට තෙ‍්රෙනවා අලුත් අලුත් ලෙඩ ජාතිත් බිහි වෙනවා. ඇත්තට ම මුලින් ම බිහිවුනෙ රෝගය මිස ප්‍රතිකාරය නොවෙයි. ඒ නිසා අපි වෛද්‍ය විද්‍යාව දියුණු වෙනව කියල හරියට දුක් විදල විදල ගිනි කූරක් පත්තු කරගත්ත කෙනෙක් වගේ අපි සතුටු වේවි..ඒත් අපි අමතක කරනවා ගිනිකූර පත්තු වීමත් එක්ක ම ඒ ගිනි කූරේ ආයුෂ ගෙවී යාමත් ඉක්මන් වුනා කියලා.

ඒ නිසා එන්න එන්න ම වසංගත රෝග මතුවෙනවා. සමහර රොග වලට පිළියම් තාම හොයාගෙන නෑ. මේ රෝග අපි ඕන ම කෙනෙකුට වැළදෙන්න පුළුවන්. මිනිසුන්ට විතරක් නොවෙයි සතුනටත් ලෙඩරෝග හැදෙනවා. ඒ නිසා මේ තාවකාලික නීරෝගී භාවයෙන් උදම් අනන්නෙ නැතුව ඉපදීමත් එක්ක අපිට උරුම වුන ලෙඩ හැදෙන ස්වභාවය ඉක්මවා ගිහින් නෑ කියන දේ නිතර නිතර සිහි කිරීමට අපිට ලැබෙනව නම් ඇත්ත ස්වභාවය කල්පනා කරන නිසා එය ජීවිතාවබෝධය පිණිස ම යි හේතු වන්නේ...

තෙරුවන් සරණයි
 
සදහම් දිනපොතේ නිර්මාණ දායකත්වය ලබාදුන්නේ productive dreams ආයතනය යි © 2009