15 March 2009

තිරිසන්නු තිරිසන්නු මිනිස්සු..මිනිස්සු..!


පුංචි කුකුල් පැටියට මොනව හිතෙනව ඇද්ද? ඒක නම් කවුරුත් ම දන්නෙ නෑ. සුව යහන් සුව පළස් අරගෙන නෙවෙයි නෙ අපි ඉපදුනේ. සතුනුත් එසේ ම යි. සමහර මිනිසුන් ට ඉපදුනාට පස්සෙ නිදියන ටිකට සැප සේ නිදියන්න, සිංගල් ලේයර් ඩබල් ලේයර් ලැබෙනවා. ඒත් සමහරෙක් ට පැදුරක් වත් නෑ. සතුන්ටත් ඔය ටික ම යි. කුරුදුවත්තෙ නෝනල ජර්මන් ෂෙපර්ඩ්ල, පොමනේරියන්ල, ඇස්සේසන්ල තියාගෙන දතුත් මැදගෙන, ‍‍පේෂලුත් කරගෙන, විටමිනුත් ගිල්ලවගෙන, හුරතල් කරද්දී බොහෝ සුනඛයෝ තවමත් මහ මග. මේ වෙනස ඇති වුනේ කොහොමද? පෙර කරපු දෙයක් නිසාද? වත්මන් සමාජයේ වරදක් ද? ඉබේ වුන දෙයක් ද? නැත්නම් කවුරුහරි ලොකු දෙවිකෙනෙක් ගෙ කැමැතතක් නිසාද? ඔන්න ඔය ප්‍රස්නෙ විසදගන්න තමයි ගොඩක් අය අද ගහ මරා ගන්නෙ. පෝස්ටර් ගහන්නෙ. ඡන්දෙ ඉල්ලන්නෙ.

ඉතින් කොහොම කොහොම හරි එක දෙයක් තියෙනව කියන්න. ඒ තමයි, මේ කිසි දෙයක් ඉබේ නම් වෙන්නෙ ම නෑ ම යි. පහනක් පත්තු වෙන්නෙත් හේතුවක් නිසා නම්, ගහක හෙවනැල්ල තියෙන්නෙත් හේතුවක් නිසා නම්, අපේ ජීවිත විතරක් ඉබේ තීරණය වෙයි ද? ඒ නිසා මේ හැම දෙයක් ම හට ගන්නෙ හේතුවක් නිස යි. හැමදෙයක් ම පවතින්නේ හේතුවක් නිස යි. ඒක සනාතනික සත්‍යයක්.

තිත්ත කොහොඹ ඇටයක් හිටෙව්වොත් හැදෙන්නෙත් තිත්ත ඵල සහිත තිත්ත කොහොඹ ගහක් ම යි. රසවත් අඹ ඇටයක් හිටෙව්වොත් හට ගන්නේ රස ඵල දරන අඹ ගහක් ම යි. ඒ වගේ ම...අපි හොදක් කළොත් ඒකෙ ඵලය හොද එකක්. නරකක් කළොත් ඒකෙ ඵලය නරක එකක්. ඒ නිසා මේ හේතු ඵල ධර්මතාවය තමයි මේ හැම දෙයක ම පවතින්නේ. හේතුව හැදුව පමාවට ඵලය හැදෙන්නෙ නෑ. අපි එහෙම හිතනව නම්, හරියට අපිට කැමති තැනකින් ළිදක් කපන්න පටන් අරන් කැමති ගැඹුරෙන් වතුර අපේක්ෂා කරනව වගේ වැඩක්. අපිට තියෙන්නේ ළිද කපන්න යි..වතුර ලැබෙන ගැඹුර සහ ඉක්මන තීරණය වෙන්නේ අපි ඉන්න තැන යි අපේ උනන්දුව යි මත ම යි.

ඒ නිසා දුක්, දොම්නස්, හැඩීම් වැළපීම් වලින් නිදහස් වෙන්නට අද අද ම වීර්ය කරන්න පටන් ගන්න. ඔබ මේ සසරේ ඉන්නේ යම් තැනක ද, යම් මානසික මට්ටමකින් ද, ඒ අනුව ඔබේ විමුක්තිය ලැබෙන දිනය තීරණය වේවි.

තෙරුවන් සරණයි..!

3 comments:

Narada on March 16, 2009 at 12:22 AM said...

අදයි මෙම දහම් සටහන දුටුවේ. වටිනා කාර්‍ය කටයුත්තකි. ලොවට හිතාය පිණිසම දහම පතුරුවන්න සියලු මානවයා පුරාම.

කරත්තයක් රෝදයක් සේම, කපොල්ලක් සේම තමා කරනා දේහි ඵල ප්‍රිති විපාක දෙයි, එයින් ගැලවෙන්නට කිසිත් කල නොහැක්කේය. කල හැක්කේ හොඳ දේ ක්‍රියා කිරිම තුලින්මයි.

තේරුවන් සරණයි! ඔබට දිරි!

Teena on March 16, 2009 at 12:37 AM said...

ඒක නම් ඇත්ත, හැමදෙයක්ම සිද්ද වෙන්න හේතුවක් ඇතුව. ඒත් ඒ බව දැන දැනත් යමක් කමක් ඇති අය නිස්කාරනේ ඒ දේවල් නාස්ති නොකර නැති බැරි අයත් එක්ක බෙදා ගන්නේ නැති එකයි දුක.එහෙම කලා නම් දුප්පතාගේ කරුමය යන්තම් හරි වෙනස් වෙයි නේද?

සාවකෝ on March 17, 2009 at 10:05 PM said...

@ ‍‍ෆා ද බ්ලොගී

සම්පූර්ණ ඇත්ත. නිස්කාරනේ නාස්ති කරනව විතරක් නෙවෙයි තමන්ගෙ පමණට වැඩියෙනුත් රැස් කරගෙන ගොඩගහගෙන ඉදල මසුරු කමෙන් බදාගෙන ඉන්න එකත් මීට හේතුවක්. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙමින් පවතිනව. ඔබට මතක ඇති අර 'ජම්බො පීනට්' ඇඩ් එක. බෙදාගන්නෙ නැතුව බදාගෙන කන රටකජු ජාතිය..? අන්න ඒක ම යි මේ සමාජෙ තියෙන්නේ. ඒ හේතුවවත් නැති වුනොත් සුචරිත දුප්පතාගෙ කරුමෙ වත් යන්තමින් හරි අඩු වෙනවා කියන්නෙ හේතුසහගතව නම් ඇත්තක්.

ඒත් කොයි තරම් බෙදා දුන්නත්, දුප්පතා වුනත් මත්පැනට මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා හිටියොත්, ගණිකා සේවනයට හුරු වෙලා හිටියොත්, සූදුවට ඇබ්බැහිවෙලා හිටියොත් ඉතින් ඒ කරුමෙට සල්ලි දේපොල බෙදා දුන්න කියල ඒක ගෙවන්න නම් බෑ. දුසිරිතෙන් තොර මිනිහෙකුට හරි දුසිරිතෙන් වෙන්වෙන්න තරම් මොළයක් තියෙන කෙනෙකුට හරි නම් ඔබේ ක්‍රමේ හරියාවි. ඒත් බේබදු සල්ලාලයෙකුට නම් ඒක විනයක් ම යි.

ඒ නිසා දුසිරිතෙන් තොර වුනොත් මෙලොවත් පරලොවත් දියුණු කරගන්න පුළුවන්.

Post a Comment

 
සදහම් දිනපොතේ නිර්මාණ දායකත්වය ලබාදුන්නේ productive dreams ආයතනය යි © 2009